ගිහි පැවිදි සමාධි වැඩිහිටි නිවාසය

ඉතිහාසය

සියළු විහාරාංග වලින් සමන්විත මෙම විහාරස්ථානය දැනට ස්වාමීන් වහන්සේලා සිව්පස් නමක් වැඩ වාසය කරයි. ප්‍රදේශයේ බෞද්ධ දරු දැරියන්ට අධ්‍යාපනය ලබාදීම ශ්‍රී ධර්මරාජ දහම් පාසැල මගින් සිදුවේ. සමස්ත ගම්වාසී, රටවාසී, ලෝකවාසී සියළු සත්වයනට සසර දුක කෙලවර කරගනිමින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස නිරන්තරයෙන්ම ක්‍රියා කරන බෞද්ධ සිද්ධස්ථානයකි.

ගාල්ල කඞවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් 98/A මඩවල මුල්ල උතුර ග්‍රාම සේවා වසමෙහි පෝයගල කන්ද නම් ගමෙහි ඉතා රමණීය කඳු මුදුනක පිහිටා ඇති ශ්‍රී ධර්මරාජ මහා විහාරය ක්‍රි.ව. 1835 දී පමණ ආරම්භ කරන ලද්දකි. වසර 150 කට වඩා පැරණි මෙම විහාරස්ථානය විහාරාධිපති හිමිවරුන් හය නමක් පමණ වැඩ සිටිමින් ප්‍රදේශයේ බෞද්ධ අබෞද්ධ සැමට සමාජ ශාසනික සේවාවන් රැසක් සිදු කරන ලදී. 2009 වර්ෂයේ විහාරාධිපති ලෙස විහාරස්ථානයට පත් වූ පූජ්‍ය තල්ගම්පල සමිද්ධි හිමිපානන් වහන්සේ විහාරස්ථානයේ සියලු විහාරාංග සම්පූර්ණ කරමින් බෞද්ධ ප්‍රබෝධය ඇති වන ආකාරයට විහාරස්ථානය ගොඩ නගන ලදී.

ප්‍රදේශයේ බෞද්ධ අබෞද්ධ සැමට ඉමහත් සේවාවක් සිදු කරන ගමන් අසරණ පිහිටක් පිළිසරණක් නැති වැඩිහිටි පිරිසට ද පිහිට වන ස්ථානයක් බවට විහාරස්ථානය පත් කරන ලදී. දෙස් විදෙස් බෞද්ධ පින්වතුන් මෙම ස්ථානයට දානය, ඖෂධ, හා නඩත්තු කටයුතු සඳහා සහයෝගය ලබා දෙන අතර කිසිදු අයකුට බරක් නොවී මෙම නඩත්තු කටයුතු පවත්වාගෙන යාම අපගේ බලාපොරොත්තුව ද වේ. රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියා වනුයේ වැඩිහිටියාය. ඔහුට නිසි ගෞරවය ලබා දෙමින් ඔහුව රැකගමු.

සමාධි ගිහි/පැවිදි වැඩිහිටි නිවාසය යනු ශ්‍රී ධර්මරාජ විහාරවාසී පූජ්‍ය තල්ගම්පල සමිද්ධි හිමියන්ගේ නමින් වැඩිහිටි නේවාසික රැකවරණය සපයන ලියාපදිංචි ආයතනයකි. ආයතන ලියාපදිංචි කිරීමේ සහතිකය 2000 අංක 9 දරන වැඩිහිටි අයිතිවාසිකම් සුරැකීමේ පනතේ 16 සහ 18 වගන්තිය යටතේ සිදු කෙරේ. ලියාපදිංචි අංකය NBE/SP/Gall/2022/59.

වැඩිහිටි නිවාසය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි පුණ්‍යායතනයක් ලෙස පිළිගැනේ. එය දකුණු පළාතේ සමාජ සේවා අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ඇත. ලියාපදිංචි අංකය SP/G/25/2021.